Monday, October 17, 2016

සකිසඳමඬල : බ්ලොග් අවකාශයේ 'අාදි බණ්ඩාරනායක' මුද්‍රාව


ගම්පහ, බණ්ඩාරනායක විදු මව් තුරුලෙන් සමුගෙන හරියටම විසි වසරකි. නමුත් විදුබිම පිළිබඳ මතකයන් තවමත් අලුත් ය. ගම්පහ-යක්කල පාරේ යනෙන අතරතුර පාසලේ වසර නවයක මතකයන් අලුත් වන්නේ නිරායාසයෙනි. 

වේදිකා නාට්‍යයක් නැරඹීමට හෝ සංගීත ප්‍රසංගයක් නැරඹීමට ඉඳහිට සති අන්තයක විදුහලට පැමිණෙන විටෙක ඒ ඉපැරණි විදු මව් සුවඳ ඔස්සේ සිතිවිලි නිදහසේ සැරිසරයි. 6 සිට 13 වසර දක්වා අකුරු කළ පංති කාමර සොයා සෙමින් පියවර නඟමි. වීරසිංහ මිස්, කුසුම් ඒකනායක මිස්, රණසිංහ මිස්, නන්දා මිස්, රෝහිණී මිස්, කුසුමා මාලනී මිස්, පෙරේරා සර්, මහින්ද සර්, ජයසේන සර්, බාලසූරිය සර්, දේවගිරි සර්, අනිල් සර්, සුදම් සර්, ජිනදාස සර්, චන්දානන්ද හාමුදුරුවෝ, සද්ධානන්ද හාමුදුරුවෝ පංති කාමරවල උගන්වන හඬ තවමත් අැසෙන්නාක් මෙනි. පුස්තකාලයේ 'බීටා මිස්' තවමත් 'නම' කියා අමතන්නාක් මෙනි.

6 වසරේ සිට එකා මෙන් සිටි මිතුරු සමූහයා සිහියට එයි. පාසලෙන් සමුගෙන වසර 3කට පමණ පසු වේලාසන ම ජීවිතයෙන් නික්ම ගිය 'සමරනායක' සිහිවෙයි. සිතෙහි කඳුළක් නළියයි. වසර දෙකකට පමණ රෝගාතුර ව සිට ජීවිතයෙන් සමුගත් 'බෝගහගේ' මතකයට එයි. අැසෙහි කඳුළක් තෙරපෙයි.

එවක උදෑසන හා අැතැම්විට විවේකකාලයේ අප ලැග සිටින ඉපැරණි අරලියා ගස් පෙළෙහි සලකුණකුදු නැත. විලෝගස් මැදි කරගෙන තිබූ පොකුණ, එහි සිට විශාල කාෆ් මාලුවා දැන් මතකයක් පමණි. පහළ වැලි පිට්ටනිය, එහි කෙළවර වූ ඔට්ටපාලු අඹරන විසල් රබර් ගස කෝ කොහිද? එවක 1.30ට පෙර පාසලෙන් පනින ''නීතිවිරෝධී මාර්ග'' අද නීත්‍යානුකූල මාර්ග බවට පත්කර තිබෙන සේ ය.

ක්‍රීඩාංගණයේ සිට පෙරදිග තූර්යවාදක ඛණ්ඩයේ සොයුරන්, ටී.එම්. ජයරත්නගේ 'නාමල් පිපිලා මේ වැව් ඉවුරේ'' ගීතය වාදනය කරන හඬ සිහිනයකින් මෙන් අැසෙයි. චමින්ද අයියා ශිෂ්‍ය භට ඛණ්ඩයට අණ දෙමින් සිටින අතර, අන්තිම 'න්' යන්න කියැවෙන තුරු සූදානම් ව සිටි අයුරු මැවී පෙනෙයි.

ශිෂ්‍ය උද්ඝෝෂණ අතර කඳුළු ගෑස් වැදී පාර අසල සිට විදුහල් මිදුලට දිව එන දරුවන් දෙස විදුහල්පති උඩුගම්පල සර් සහ පුටුපාගල හාමුදුරුවෝ  උපේක්ෂාවෙන් බලා හිඳිනු මැවී පෙනෙයි. ප්‍රධාන ගොඩනැගිල්ලේ දකුණු කෙළවරෙහි එවක අ.වි.ශි.බ.ම. දැවැන්ත පෝස්ටරය අලවා තිබෙන තැන අද අැමරිකානු ජනාධිපති ඒබ්‍රහම් ලින්කන් සිය පුත්‍රයාගේ ගුරුතුමාට ලියූ ලිපිය අලවා තිබේ.

කෙළවරක් නැති මතකයන්, කෙළවරක් කළ නො හැකි මතකයන් අතර සිතිවිලි නිදහසේ සැරිසරයි.

බිත්තිපුවත්පත්, සඟරා, කලා උළෙල... මැවී පෙනෙයි. ප්‍රධාන ශාලාවේ වේදිකාවේ රැව් දෙන චමින්ද විජේසිංහ අයියාගේ ගැඹුරු හඬ තවමත් අෑතින් අැසෙයි. ටෝෂා අයියාගේ කාටූන් බිත්ති පුවත්පතේ එබී බලයි. ලක්ශාන්තගේ සඳැස් කවක් බිත්ති පුවත්පතේ තව ම විරාජමානව හිඳී. ජනක හා බන්දුල අයියලාගේ වේදිකා නාට්‍යයක් තවමත් වේදිකාවේ රඟ දැක්වෙනු පෙනෙයි.

ප්‍රදර්ශනයක් සඳහා සූදානම් වීමට පාසලේ රැය ගෙවන රාත්‍රියක අසල කනත්තේ වූ මල් වඩම් පසුදින අසල්වැසි පාසල් ගේට්ටු අසල තිබෙනු පෙනෙයි.  

පාසලින් හදිසියේ පැනයන හදිසි දොරටු ! පෙ.ව.10.30 දර්ශනයට පෙර පාසලින් හදිසියේ පනින්නට යන මිතුරකු අතරමඟ හමුවෙයි. 'මචං ප්‍රින්සිපල්ල දෙන්නෙකුට මේ ඉස්කෝලේ රාජකාරි කරන්න බැහැනෙ. ඉතිං මං යනවා.... ක්ලාස් එකේදි හවස හම්බවෙමු...'' තාප්පයෙන් පනින ගමන් උෟ කියනු අැසෙයි.

විශේෂ අවශ්‍යතා පිණිස අැතැම් පාසල් අැරෙන තුරු නො ඉවසිල්ලෙන් සිටි දවස් ! ගම්පහ වල බහින බහිතයගේ කඩේ !

මතකයන් ! අමතක කළ නො හැකි මතකයන් !!

ඉදින් වේගයෙන් ඉපැරණි ව යන ඒ සොඳුරු දවස් ගැන මතකයන් අලුත් කරගන්නට, ලොව විවිධ රටවල වෙසෙන, විවිධ වෘත්තීන්හි යෙදෙන බණ්ඩාරනායක විද්‍යාලයේ අාදි ශිෂ්‍ය සමූහයා  සයිබර් අවකාශයේ එක තැනෙක රොද බඳින බ්ලොග් අඩවියක් අැරඹීමේ සිහිනය මා සිත ඉපදුණේ  මාස කිහිපයකට පෙර ය. 'සකිසඳමඬල' ලෙස මේ එළිදැක අැත්තේ ඒ සිහිනයයි. 

'සකිසඳමඬල' මගේ බ්ලොග් අඩවිය නො ව, 'අපේ බ්ලොග් අඩවිය' ලෙස හඳුන්වන්නට මා කැමති ය. බණ්ඩාරනායක විදුබිමේ 'අාදි වාසීන්ට' ලියන්න කියන්න, අනෙක් සහෝදර වර්ගයා අතර බෙදාගන්නට දෙයක් තිබේ නම්, 'සකිසඳමඬල' ඒ වෙනුවෙන් විවෘත ය.

එසේ ම, විද්‍යාලයේ වර්තමාන පුවත් ද, වර්තමාන සිසු සොයුරන්ගේ හැකියාවන්, දක්ෂතාවන් හා ජයග්‍රහණ ගැන ද සටහන් කරන්නට 'සකිසඳමඬල' කැමැති ය.

යෝජනා, අදහස් වෙනුවෙන් හැම විට ම 'සකිසඳමඬල' විවෘත ය. 

ලියන්න. එවන්න. සුදුසු පරිදි සංස්කරණය කොට ඒවා 'සකිසඳමඬල'හි පළවනු අැත.

sakisandamadala96@gmail.com 

1 comment:

  1. [ටී.එම්. ජයරත්නගේ 'නාමල් පිපිලා මේ වැව් ඉවුරේ'' ගීතය වාදනය කරන හඬ සිහිනයකින් මෙන් අැසෙයි]

    මේ ටික දැකල ඒ දවස් වල බෑන්ඩ් එකේ සද්දේ අහගෙන හිටපු හැටි මතක් වුනා. ඇත්තටම විශිෂ්ට හැකියාවක් තිබුනා. ඉස්කෝලේ හිටපු මුළු කාලය පුරාම බෑන්ඩ් එකේ සද්දේ හැමදාම එකම විදියට තිබුනා කියන්න පුළුවන්.

    ReplyDelete